සේවය අත්හිටුවන ලද දොඩංගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු හෙට ම සේවයේ පිහිටුවන ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද නියෝග කළේ ය. ඒ එම කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට විරුද්ධව ඔහු ඉදිරිපත් කරනු ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ය.රාජකාරියේ නිරතව සිටියදී කාන්තාවක සමග අනාචාරයේ හැසිරුණු බවට එල්ල වූ චෝදනාව මත අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබුණි.කොස්තාපල්වරයාගේ පෙත්සම විභාගයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සුරේෂ් ඥානරාජ් මහතාට අග විනිසුරුවරයා නියෝග කළේ, දුරකථනයෙන් පොලිස්පතිවරයා අමතා අධිකරණ නියෝගය දැනුම් දෙන ලෙස ය. තම සේවාදායකයා සම්බන්ධයෙන් පොලීසිය පවත්වන ලද පරීක්ෂණයකින් ඔහු නිවැරදිකරු බව තීරණය කර තිබියදී ත් යළි ත් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි කියමින් ඔහු සේවයට ගැනීම ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කියා සිටියේ ය.
නීතිඥවරයා වැඩි දුරට ත් කියා සිටියේ මේ දක්වා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් පවත්වා නොමැති බව ය.